සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වූ රටක බෝරා සමුළුව ගැන



Bohra community in Sri Lanka — Sep 2019


රජය විසින් සෘජුව වගකීම දැරිය යුතු අප්‍රේල් 21 ප්‍රහාරයෙන් කර්මාන්තයක් වඩාත්ම හානි වූයේ සංචාරක ව්‍යාපාරයටයි. ගණනය කළ නොහැකි තරම් ආර්ථික පාඩුවක් මෙන්ම CITEs වැනි අන්තර්ජාතික සමුළුද එමනිසා ලංකාවට ගිලිහී ගියේය. හුදු වචන වලට පමණක් සීමාවූ පො⁣රොන්දු වලට එහාගොස් සංචාරක ව්‍යාපාරයෙන් යැපුන දහස් ගණනක ජනතාව වෙනුවෙන් කිසිමාකාරයක සෘජු අත්වාරුවක් සැපයීමට රජයට නොහැකි විය. වාහන හිමිකරුවන්, කුඩා හෝටල් හිමිකරුවන්, බැංකු ණය වලින් සිය සංචාරක ආයෝජන කල අය අතිශයින්ම දැඩි ආර්ථික ගැටළුවකට මුහුණ පෑයේය.

මෙවැනි තත්ත්වයක් තුළ, 21000ක පමණ පිරිසක් සහභාගී වන බෝරා මුස්ලිම්වරුන්ගේ සමුළුවක් ලංකාව තුළ මේ වන විට සාර්ථකව පැවැත්වෙමින් පවතී. එක් අතෙකින් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ලංකාව තුල පොදුවේ සියළු මුස්ලිම් ජනතාව වෙත විරෝධයක් එල්ලවෙමින් පවතින විටෙක සහ අනෙක්පසින් රටේ ආරක්ෂාව පිළිබදව විශ්වාසය ගිලිහී ඇති විටෙක මෙම සමුළුව වෙනුවෙන් ලංකාව තෝරාගැනීම අවදානම් එකකි. එසේ තිබයදී වුවත් රටේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් පමණක් නොව සමස්ත මුස්ලිම් ජනතාව විසින් සාමය සහ ජාතික උන්නතිය වෙනුවෙන් වන කැපවීම ප්‍රකාශ කරලීම වෙනුවෙන් ලොව පුරා වෙසෙන මෙතරම් විශාල ජනකායක් සති 2ක් වැනි කෙටිකාලයක් තුල සියළු සංවිධාන කටයුතු සිදුකොට ලංකාව පැමිණීම අගය කරලිය යුත්තකි. (මේ සදහා 40,000 පිරිසක් ඉල්ලුම් කර තිබී ඇතත් ඉන් 21,000 පමණක් අනුමත වී ඇත්තේ කොළඹ නගරය තුළ ප්‍රමාණවත් කාමර ප්‍රමාණයක් නොමැති නිසාය.)


Kishu Gomes — Chairman, Sri Lanka Tourism Promotion Bureau
මෙම සමළුවට පෙර බෝරාවරුන් විසින් නිකුත් කළ සටහනකට අනුව මෙමගින් රුපියල් බිලියන 5.6ක ආදායමක් (ඩොලර් මිලියන 31ක්) ලංකාවට ලැබෙතැයි ගණන් බලා තිබූ අතර මේවා සංචාරක හෝටල්, ප්‍රවාහන අවශ්‍යතා සපයන පිරිස් සහ රට වටා සංචාරය කිරීම වෙනුවෙන් වියදම් කිරීමට අපේක්ෂා කොට තිබුණි. සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා විසින් ප්‍රකාශ කෙරුණු පරිදි රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 50කටද අධිකය.

මෙවැනි පසුබිමක් මත බෝරාවරුන් රැගෙන එන සල්ලි ගණින සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා හෝ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිවරයා ඇතුළු ලංකාවේ රජය විසින් මෙම සමුළුව රටේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කොතෙක් දුරට යොදාගැනීමට තැත්කලාද යන්න ප්‍රශ්ණ සහගතය.

බෝරාවරුන් ගැන අදහස

කොළඹ නගරයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් කරන මාගේ මිතුරෙක් පසුගිය දා පවසා සිටියේ මේ පැමිණ සිටින බෝරා මුස්ලිම්වරු නැවත ලංකාවෙන් පිටත් වේ දැයි තමන් විශ්වාස නොකරන බවයි. මේ උපකල්පනයට පදනම්ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන පදනමක් නොමැති අදහස් නිසාය. රජය මේ ගැන නිශ්ක්‍රීය වීම කෙසේ වෙතත් සංචාරක සංවර්ධන බද්දෙන් නඩත්තු වන සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට මේ ගැන ක්‍රියාත්මක වී ජනතාව දැනුවත් කිරීමට වගකීමක් නොමැතිද? ලොව සුපතල පාරජාතික සමාගමක ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කිෂූ ගෝමස් මහතා ආඩම්බරෙන් ලද ආදායම් ගැන කියන විට, ඒ ආදායම් ගෙනෙන සංචාරකයින් ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ වෛරයෙන් මුදවාගැනීමට ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ කවර හේතුව නිසාද?

මීට පෙරද ලංකාවේ බෝරා සමුළුවක් පැවතියත් එය එතරම් ජන අවධානයට ලක් නොවීමට ප්‍රධාන හේතු ද්විත්වයක් බලපෑවේය. ඉන් ප්‍රධානතම කාරණය ලංකාව තුළ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කුකුසක් සාමාන්‍ය ජනතාව තුළ නොවීමත්, සංචාරක ව්‍යාපාරය මෙතරම් රටට බලපෑ ව්‍යාපාරයක් බවට පත් නොවීමත්ය.
එක් පසෙකින් රටේ ආරක්ෂාව පිළිබදව දැඩි අවිනිශ්චිතාවක් විදෙස් සංචාරකයින් තුළ ඇති තත්ත්වයක එකී අවිශ්වාසය දුරුකරලීමටත්, අනෙක් පසින් සැළකිය යුතු අවදානමක් සහිතව ලංකාව තුළ සංචාරය කරන ජාත්‍යන්තර මුස්ලිම් බෝරාවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමක් සිදුකළ යුතුව තිබුණි. ජාත්‍යන්තර හා දේශීයව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම තුළ මෙමගින් මහගු ඵල ලබාගැනීමට ඉඩකඩ තිබුණි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන බදුමුදල් වලින් විදෙස් සංචාර සිදුකොට, කවරාකාරයකවත් ආයෝජන ප්‍රතිඵල නොමනින රෝඩ් ෂෝ වලට යාම තරම් මෙවැනි සමුළු බලධාරීන්ට වැදගත් නොවනවා ඇත.

පසු සටහන…

බෝරා මුස්ලිම්වරු යනු දැනට ලෝක ත්‍රස්තවාදය හා සම්බන්ධතා පවත්වන අයිඑස්අයි සංවිධානවලට සම්බන්ධ නොමැති හෝ කවරාකාරයකවත් ත්‍රස්තක්‍රියාවන්ට සම්බන්ධ නොමැති ජන කොටසකි. ජාත්‍යන්තරව වඩා අන්තර් සහයෝගයෙන් කටයුතු කරන මොවුන් බොහෝදුරට වෙළද ක්ෂේත්‍රය තුල ස්ථාවරය කටයුතු කරයි.

දැඩිමතදාරී ගෝත්‍රික ආගමික ඇදහිලි වෙනුවට මෙවර පැවැත්වෙන බෝරා ආගමික සමුළුව ලංකාව තුළ පවත්වන අති විශාලතම කාබන් අතිරික්තයක් නොමැති ව්‍යාපෘතියයි. ඊට අමතරව ආහාර කසල බවට විසිකිරීම සම්පූර්ණයෙන් වැළැක්වීමටත්, ප්ලාස්ටික් කසල බවට පත්වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට කටයුතු කරඇත.

Comments