සංචාරක ව්‍යාපාරය සහ පුද්ගල ආදායම

Picture ( https://blog.trekaroo.com)

අතිරික්ත ආදායම (Discretionary Income)

සංචාරක සහ විනෝදාස්වාදී කර්මාන්ත සියල්ල රදා පවතින්නේ මිනිසුන්ගේ ආදායමෙන් අතිරික්ත ආදායමේ ප්‍රමාණය ඉහළ යෑම මතයි.

ශුද්ධ ආදායම (Disposable Income) = සම්පූර්ණ ආදායම (Income) - බදු ගෙවීම් (Taxes)
අතිරික්ත ආදායම (Discretionary Income) = ශුද්ධ ආදායම (Disposable Income – අත්‍යාවශ්‍ය වියදම් (Basic Spending)

ශුද්ධ ආදායම (Disposable Income)

එනම් මිනිසෙකු විසින් ලබන ආදායමෙන් ආදායම් බදු අඩුකිරීමෙන් පසු ඉතිරිවන ආදායමයි. ලංකාවේ ආදායම් බදු ක්‍රමය එතරම් ක්‍රමවත් නැති නිසා බොහොදෙනෙකුහට ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙත් ආදායම් බදුක්‍රමය ක්‍රමවත්ව ඇති රටවල මිනිසුන් විසින් උපයන ආදායම් වලින් නිශ්චිත ප්‍රතිශතයක් ආදායම් බදු වශයෙන් ගෙවීමට සිදුවේ. ආදායම් බදු යනු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ගෙවීමට සිදුවන බදු නොවේ.

අතිරික්ත ආදායම (Discretionary Income)

එනම් කිසියම් පුදගලයෙකු විසින් ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතිරිවන ආදායමෙන් තමන්ගේ මුලික අවශ්‍යතා සහ අනිවාර්යෙන් ගෙවිය යුතු විදයම් වලින් පසු ආයෝජනය කිරීමට, ඉතිරිකිරීමට හෝ විනෝදාශ්වාදය වෙනුවෙන් වෙන්කරන මුදලයි. උදාහරණයකට ගතහොත් කිසියම් පුද්ගලයෙකු සිය ආදායම් බදු ගෙවීමෙන් පසු රුපියල් 10000.00කට මාසික වැටුපක් ලබයි නම් ඔහුට ආහාර පාන සදහා රුපියල් 5000, ප්‍රවාහනය සදහා රු 1500 විදුලිය සහ ජල බිල්පත් රුපියල් 1000.00 දුරකතනය සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික සේවා වෙනුවෙන් රු 500.00 ඔහු ලබාගත් ණය මුදලක් වෙනුවෙන් රුපියල් 1000.00ක් වැය කරයි. ඒ අනූව රුපියල් 9000.00 ක් ඔහු සිය මූලික අවශ්‍යතා සදහා වැය කරයි. ඉතිරි රුපියල් 1000.00 ඔහුට ඉතිරිකිරීමට, ආයෝජනය කිරීමට, වෙනත් අලුත් භාණ්ඩයක් මිලදී ගැනීමට හෝ විනෝදාශ්වාදය වෙනුවෙන් වැයකළ හැකියි. එකී රුපියල් 1000.00 වියදම් කරන ආකාරය ඉතා විවෘත නිසා ඊට අතිරික්ත ආදායම ලෙස හැදින්වේ.

සංචාරක ව්‍යාපාරය ස්ථානගත වන්නේ මිනිසුන්ගේ ආදායම් වල අතිරික්ත ආදායම මතයි. මේ නිසා ආදායම් වර්ධනයේදී අතිරික්ත ආදායම ප්‍රමාණය වැඩිවන අතරම ආදායම් අඩුවීමකදී සෘජුවම බලපාන්නේ අතිරික්ත ආදායම වෙතයි. පුද්ගලිකව සිදුවන ආර්ථික බලපෑම් වලදී මෙන්ම රටක් ලෙස ආර්ථික අවපාතයන්ට ලක්වීමේදී මුලින්ම බලපාන්නේ විනෝදාස්වාදී සේවා සපයන ව්‍යාපාරයි. 2008 වසරේ බටහිර රටවල සහ ඇමරිකාවේ ඇති වූ ආර්ථික අවපාතය නිසා දැඩි ලෙස අතිරික්ත ආදායම මත රදාපවතින ව්‍යාපාර වන සංචාරක සමාගම්, සුඛෝපභෝගී ක්‍රෑස් සවාරි, මිල අධික හෝටල්, මිල අධික අවන්හල් වැනි ව්‍යාපාර කඩාවැටීමට ලක්වන්නේ මේ පදනම මතයි. 

සරලව ගතහොත්, පුද්ගල ආදායම් කොතරම් ඉහළ ගියත් අතිරික්ත ආදායමෙන් යැපෙන කර්මාන්ත සදහා පුද්ගලයෙකුගේ "අතිරික්ත ආදායම" ඉහළ යා යුතුය.

Comments