ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා බැදුණ ප්‍රසිද්ධ මිත්‍යා මත

ආර්ථික උපක්‍රමයක් ලෙස සංචාරක ව්‍යාපාරය ලංකාව තුල සාකච්ඡා වී තිබුණද එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට 2017 වන විට ලක්ෂ 20ක් දක්වා සංචාරක පැමිණීම වර්ධනය විය. එතෙක් රටේ ආර්ථිකයට සීමාන්තික දායකත්වයක් දැක්වූ සංචාරක කර්මාන්තය රටේ ප්‍රමුඛතම කර්මාන්තයක් දක්වා වර්ධනය වී ඇත.

මේ නිසාම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ කතිකාව වැඩි වැඩියෙන් සාමාන්‍ය ජනතාව අතර ද පැතිර ගොස් ඇත. ඒ සමගම අනෙක් සෑම විෂයකටම සිදුව ඇති පරිද්දෙන්ම සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්ද බොහොමයක් මිත්‍යමත ද පැතිර ඇත. මේ එවැනි මිත්‍යාමත කිහිපයක් තාර්කිකව විමසා බැලීමට කරන උත්සාහයකි.

1. “ලංකාවට එන්නෙ දුප්පත් සුද්දන්”ය

මූලිකම කාරණය වන්නේ ලංකාවට වැඩිපුරම පැමිණෙන්නේ ඉන්දියානු ජාති සහ චීන ජාතිකයින්ය. ඒ රටවල සිටින සංචාරය සදහා කැමති මධ්‍යම පන්තියේ පිරිස් ලංකාවට පැමිණෙති. ඔවුන් අතරින් වඩාත් වියදම් කළ හැකි පිරිස් ලංකාව වෙත ආකර්ෂණය කරගැනීම උපක්‍රමිකව සිදුකළ යුතු කාරණයකි.

ඊට අමතරව ලංකාවට සාම්ප්‍රදායිකව වැඩිපුරම පැමිණෙන්නේ බටහිර යුරෝපානු කලාපයෙනි. ඒ අතරින් බ්‍රිතාන්‍ය, ජර්මානු සහ ප්‍රංශ ජාතිකයින් ප්‍රධානය.

හුදු විවේකය සදහා නිවාඩු ගතකිරීම වෙනුවට අනෙකුත් රටවල් ගවේෂණය සදහා යොමුවී ඇති බොහොමයක් යුරෝපා තරුණ පිරිස් අඩුවියදමක් දරමින් වැඩි ප්‍රමාණයක් සංචාරයේ යෙදීමට ප්‍රියකරති. මෙවැනි පිරිස් වෙත “බැක්පැකර්ස්” ලෙස ආමන්ත්‍රණය කරයි. තමන්ගේ පිටේ දාගෙන යන අතිවීශාල බෑග් නිසා ඔවුන්ව පහසුවෙන් හදුනාගත හැක.


බැක්පැකර්ස්ලා ලංකාවට අනවශ්‍යද?

අඩු වියදමෙන් රටපුරා සැරිසරන මේ පිරිස් බොහෝවිට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරයි. සුඛෝපභෝගී ආහාර පාන වලට වඩා අපි එදිනෙදා ආහාරයට ගන්නා ආකාර අනුගමනය කරයි. සමහර විට සුපර්මාර්කට් හෝ සාමාන්‍ය සිල්ලර කඩවලින්ද අවශ්‍ය දෑ ලබාගනී. කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනු ලබන හොස්ටල් හෝ නිවාස ආශ්‍රිතව අඩුවියදම් හෝම් ස්ටේ (Home Stay) වල ඔවුන් නවාතැන් ගනිති. බැලූ බැල්මට එවැනි පිරිස් වෙතින් රටට ලැබෙන සෘජු ආර්ථික ලාභය අවමය. එසේ වූ පමණින්ම ඔවුන්ව නොසලකා හැරිය හැකිද?



සංචාරක ස්ථාන ගවේෂණය

සංචාරක ආකර්ෂණය උපක්‍රමික කර්මාන්තයක් වර්ධනය කිරීමට උත්සාහ කරන රටක් ලෙස තවමත් “ලංකාව” යන නාමය ප්‍රචලිත කිරීම ප්‍රධානතම අභියෝගයක් බවට පත්ව ඇත. ආසියාවේ සහ යුරෝපයේ රටවල් හැරුණුකොට ගෙන සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ලෝකයේ අනෙක් දිසාවන්හි ලංකාව ප්‍රචලිත කිරීමට බැක්පැකර්ස්ලා⁣ මහගු සේවයක් කරනු ලබයි. නවීන ලෝකය සමග ඉතා සමීපව කටයුතු කරන මොවුන්, ජාලයක් ලෙස කටයුතු කරන නිසා එක් පසෙකින් තවත් බොහෝ පිරිසකට බලපෑම් සිදුකරන අතරම අලුත් ආකර්ෂණීය ස්ථානයන් ගවේෂණය කිරීමෙද නිරත වේ.

අවම සම්පත් පාරිභෝජනය හා තිරසාර සංචාරක ව්‍යාපාරය

අඩු වියදම් සහගත සංචාර නිසා අවම සම්පත් පාරිභෝජනයක් සිදුකරනු ලබයි. මේ නිසා පොදුවේ සංචාරක ව්‍යාපාරය ඇති විවේචනයෙන් මේ කණ්ඩායමට අදාළ නැත. අදාළ රටේ ස්වදේශීය ජීවිත හා සමීපව සහ සංවේදීව කටයුතු කරන පිරිස් වන නිසා සංස්කෘතික බලපෑම්ද සාපේක්ෂව වැඩිය. සුඛෝපභෝගී සංචාරකයින් බොහෝවිට ජාත්‍යන්තර සහ දේශීය මහාපරිමාණ සමාගම් සමග කටයුතු කරන නිසා අඩු ආදායම්ලාභී දේශීය ජනපිරිස්වලට ඇති මූල්‍යමය ගලායාමට සාපේක්ෂව නිපදවන ආදායමේ ප්‍රතිශතයක් ලෙස “බැක්පැකර්ස්”වරුන්ගෙන් සාමාන්‍ය ජනපිරිස්වලට ඇති ආර්ථිකමය වාසි වැඩිය.

2. ලංකාව අඩුවියදම් සංචාරකවරුන්ගේ පාරාදීසයකි.

2009ට පෙර කාලය තුළ මෙය සත්‍යයකි. එහෙත් යුධ අවසානය සහ රටේ මූලික ආර්ථික උපායමාර්ගයක් ලෙස සංචාරක ව්‍යාපාරය පත්වීමත් සමග තව දුරටත් එය සත්‍යයක් නොවේ. රටට පැමිණෙන එක් සංචාරකයෙකු විසින් දිනකට රට තුළ වියදම් කරන සාමාන්‍ය මුදල ඇමරිකානු ඩොලර්වලින් පහත දැක්වේ. ඒ අනූව එක් පසෙකින් රටට පැමිණෙන විදේශිකයින්ප්‍රමාණය ක්‍රමිකව ඉහල යනවා මෙන්ම දිනකට එක් පුද්ගලයෙක් විදයම් කරන මුදලද ක්‍රමිකව වැඩිවී ඇත.

Source — SLTDA Website
මීට අමතරව අප රට තුළට පැමිණෙන විදේශිකයින් බහුතරයක් නවාතැන් ගනු ලබන්නේ ලියාපදිංචි නොවූ අක්‍රමවත් නිවාස සහ නේවාසිකාගාර වල වුවත් ලෝකයේ වඩාත්ම මිල අධිකම වෙළද සන්නාම ගණනාවක් හිමි සමාගම් ලංකාව තුළ ආයෝජනය කොට ඇත.( උදා — Aman Resorts, Anantara Resorts, Ani Villas) එමෙන්ම රට තුළින් බිහිවූ සුඛෝපභෝගී සන්නාම ගණනාවක්ද ඇත. (උදා — Resplendent Ceylon, Uga Escapes)

Ani Villa — Dickwella

3. සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් සලෙලු ජීවිත ගත කරයි.

බටහිර සංස්කෘතිය ගැන අන්ධ විශ්වාසයක් ඇති පිරිස් වලට අනුව බටහිර පුරවැසියන් ලිංගිකත්වය සම්බන්ධයෙන් අශීලාචාරය. මෙය කරුණක් ලෙසම වැරදිය. ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුන් දක්වන විවෘත ආකල්පය මත ඔවුන්ගේ ජීවිත අශීලාචාර යැයි පැවසීම කරුණු විරහිතය. අනෙක් අතට සංචාරයක ව්‍යාපාරයේ නියුතු වෘත්තීකයින් එය සිදුකරන්නේ වෘත්තියක් ලෙසක මිස අශීලාචාර දිවි පැවැත්මක් නිසා නොවේ. සංචාරක මගපෙන්වීම් සිදුකරන පුද්ගලයින් රටට නිල නොවන තානාපති සේවයක් සිදුකරමින් ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කරයි. ඔවුන්ගේ ජීවිතවල ස්වභාවය ගැන වෙනත් තැනකදී විස්තරතාත්මකව කතාකරමු.

මීට අමතරව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ පොදු ව්‍යවහාරයේ මෙන්ම එම කර්මාන්තයේ නිරතවන්නන් තුළද මිත්‍යාමත ගණනාවක් ඇත. ඒවා සමග තාර්කිකව ගණුදෙනු කිරීම මගින් සංචාරක ව්‍යාපාරය ඵලදායීව රටේ ආර්ථිකයට දායක කරගැනීමට උපකාරී වනු ඇත.

Comments