ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පියා — පී. ඒ. එදිරිවීර


පී.ඒ්. ඒදිරිවීර - ඡායාරූපය http://www.island.lk වෙතිනි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉතිහාසය වෙනුවෙන් පශ්චාත් යටත් විජිත රජයන්ගේ සෘජු මැදිහත්වීම සිදුවන්නේ නිදහසින් වසර 18කට පසුව බව මීට පෙර ලිපියේදී සදහන් කෙරුණි. එහෙත් රජය ඒ වෙනුවෙන් මැදිහත්වන්නට පෙර මෙම කර්මාන්තය වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයෙකු සිටියේය. මෙම සටහන වෙන්වන්නේ ඔහු වෙනුවෙනි. ඒ අන් කවරෙකු නොව ලංකාවේ ප්‍රථම සංචාරක සමාගම බිහිකළ පී.ඒ. එදිරිවීර මහතා වෙනුවෙනි.

පී.ඒ එදිරිවීර මහතා 1934 වර්ෂයේදී ලේක් හවුස් ආයතනය හා සම්බන්ධ වන්නේ අහංගම ප්‍රදේශයේ වාර්තාකරු වශයෙනි. ඒ වන විට මගී නෞකා වලින් මෙරටට පැමිණ බස්රථ සහ කුලී රථ වලින් ලංකාවේ සිරි විදගත් විදේශිකයින් පිළිබදව ඔහු පුවත්පත් වාර්තා කිහිපයක් පළ කරන ලදී. මේ අතරතු බ්‍රිතාන්‍ය අයිතිය සහිත “ටයිම්ස් ඔෆ් සිලෝන්” පුවත්පතට සම්බන්ධ වන ඔහු දෙවන ලෝක යුධ සමයේ යුධ වාර්තාකරුවෙකු බවට පත්විය. එහිදී ජාත්‍යන්තරව ඇති කරගත් සබදතා පසුකාලීනව ඔහුට විශාල සහයෝගයක් බවට පත්විය.[1]

1946 වසරේදී එදිරිවීර මහතා ජස්ටින් කොතලාවල මහතා සමග එක්ව “Ceylon Tours” ආරම්භ කරන ලදී. Ceylon Tours සමාගම දැනටත් ක්‍රියාත්මක ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සමාගමකි. ජස්ටින් කොතලාවල යනු ලංකාවේ හිටපු අගමැති සර් ජොන් කොතලාවල මහතාගේ සහෝදරයාය. පසුකාලීනව ලංකාවේ ප්‍රමුඛතම කර්මාන්තයක් බවට පරිවර්තනය වන සංචාරක ව්‍යාපාරයේ ප්‍රාරම්භකයා වන එදිරිවීර මහතාගේ ආරම්භය එලෙසිනි.

දෙවන ලෝක යුධ වාර්තාකරුවෙකු ලෙස ඇතිකරගත් සබදතා මත ඇමරිකාවේ නිව්යෝක් බලා යන එදිරිවීර මහතාට සහ ජස්ටින් කොතලාවල මහතාහට ඉතා උණුසුම් පිළිගැනීමක් ලබාදීමට එදිරිවීර මහතාගේ මිතුරන් ක්‍රියාකරයි. ඔවුනට අවශ්‍ය ඇමරිකානු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රභූ පිරිස මුණගැස්සවීම වෙනුවෙන් Waldof Astoria හෝටලයේ සම්භාෂණයක්ද සූදානම් කරදෙයි.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචාරණ වෙනුවෙන් මෙම අවස්ථාව යොදාගන්නා එදිරිවීර සහ කොතලාවල දෙපල ශ්‍රී ලංකාවේ ආකර්ෂනීය සංචාරක ස්ථාන තමන් සතුව ඇති කළු සුදු ඡායාරූප මගින් පැමිණ සිටි අයට පෙන්වයි. එපමණක් නොව ඔවුන් විසින් ලංකාව ඇමරිකානු සංචාරකයින් අතර ප්‍රචාරණය වෙනුවෙන් පුවත්පත් දැන්වීම් කිහිපයක්ද පළකරයි. සංචාරක ව්‍යාපාරයේ ප්‍රාථමික අවදියක ලංකාව විදෙස් සංචාරක පිරිස් අතර ස්ථාන ගත කිරීම වෙනුවෙන් එදිරිවීර මහතා සහ කොතලාවල මහත්වරුන් යොදාගත් වචන වර්තමානයට වුවද අතිශයින් වැදගත්ය.

“Visit Ceylon, the resplendent Island. We have NO Coca Cola but offer you virgin Ceylon Tea”

(“මනරම් සිලෝන් දූපතට පැමිණෙන්න. අප සතුව කොකා කෝලා නැත. එහෙත් සුපිරිසිදු සිලොන් තේ ඇත”)


Come, relax in Ceylon. We DON’T have TV, but will give you palm fringed beaches, sunkissed the year around.”

("එන්න, ලංකාවට පැමිණ විවේක ගන්න. අප සතුව රූපවාහිනී නොමැත. එහෙත් අප සතුව පාම්ගස් වලට මායිම් වූ වසර පුරා හිරු දැවටුණ වෙරළක් ඇත”)

ලංකාව රටක් ලෙස සංචාරක සන්නාමයක් වෙනුවෙන් පැටලිලි සහගතව පසුවන කාලයක, එතරම් නොදියුණු අලෙවි සන්නාම දැනුමක් නොතිබූ සමයෙක එදිරිවීර ඉදිරිදැක්ම හා අලෙවිකරණ හැකියාව පුදුම සහගතය. සාර්ථක ප්‍රචාරනයකින් පසු ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට එදිරිවීර මහතා සහ සමාගමට හැකිවිය. එහෙත් පී.ඒ. එදිරිවීර මහතා යනු මුදල්වලින් පමණක් තෘප්තිමත් වන අයෙකු නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ව්‍යවසායකයෙකි, නිර්මාණශීලී අයෙකි.

සංචාරක ප්‍රචාරණය වෙනුවෙන් සිනමාව

සංචාරක ස්ථාන ප්‍රචාරණය වෙනුවෙන් සිනමාව භාවිතය පිළිබදව වන ශාස්ත්‍රීය හැදෑරීම් වඩාත් සුලබ වූයේ පසුගිය දශක ද්විත්වය තුලදීය. එහෙත් ලංකාව රටක් ලෙස සංචාරකයින් අතර ප්‍රචාරණය සදහා සිනමාව යොදාගැනීමේ නිර්මාණාත්මක ක්‍රමවේදය පී.ඒ. එදිරිවීර මහතා විසින් හදුනාගනු ලබන්නේ 1954 වර්ෂයේදීය. [2]

ලංකාව සිනාමා නිර්මාණ වෙනුවෙන් පසුතලයට යොදා ගැනීමට යුනයිටඩ් ආටිස්ට් සහ හොරිසෝන් පික්චර්ස් යන සමාගම් සමග එකගත්වයට පැමිණෙන එදිරිවීර මහතා සිනමා කෘති ගණනාවක් ලංකාවේ රූගත කිරීම් වලට යොදාගැනීමට සමත්වෙයි. ඒවා අතර “Purple Plains,” “Elephant Bill,” “Never So Few,’’ ``Planter’s Wife,” “Destination Paradise” වන අතර ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කළ “The Bridge Over River Kwai” චිත්‍රපයට ලෝක සිනමා ඉතිහාසයේ ස්වර්ණමය කෘතියක් ලෙසටද නම් දරා ඇත.

රටක් ලෙස සංචාරකයින් අතර ස්ථානගත කිරීම වෙනුවෙන් එදිරිවීර මහතාගේ ඉදිරිදැක්මේ ඇති විශිෂ්ඨත්වයට මෙය හොදම උදාහරණයයි.

එදිරිවීර මහතා පසුකාලීනව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල සහ ගල්කිස්ස හෝටලය තමන් සතුකරගත්තේය. ගල්කිස්ස හෝටලය “Bridge Over River Kwai” සහ “Three Yellow Cats” යන චිත්‍රපට සදහා යොදාගන්නා ලදී.

ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් නොව නිර්මාණශීලී ව්‍යවසායකයෙකු සහ ලොව පුරා සංචාරකයින් අතර ලංකාව ස්ථානගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එදිරිවීර මහතාගෙන් ඉගෙනගත යුතු දේ බොහෝය. දැනටත් සක්‍රීය සමාගමක් ලෙස පවතින ඔහුගේ ආයතනයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්ව පිළිබදව තවදුරටත් හැදෑරිය යුතුය. මන්ද විසිඑක්වන සියවසයේ සංචාරක ව්‍යාපාරය පිළිබදව වන අදහස කෙසේ වෙතත්, එදිරිවීර මහතාගේ නිර්මාණශීලී හැකියාව පසුකර යාමට වත් අප සමත්ව ඇත්ද යන්න ප්‍රශ්ණාර්තයක්ව ඇති නිසාය.

[1] http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=1790

[2] http://www.sundaytimes.lk/100711/BusinessTimes/bt22.html

Comments