සංචාරක ව්‍යාපාරය, අධි පාරිභෝජනය සහ ශ්‍රී ලංකාව



සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීග්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැළකියයුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින් පවතී. WTTC ට අනුව 2027 වසර වන විට ලෝක දළ ජාතික නිෂ්පාදනයන්හි එකතුවෙන් 11.4 % ක් සෘජු සහ වක්‍ර ලෙස සංචාරක කර්මාන්තය තුළින් දායකවීමට නියමිත (දැනට එය 10.2%කි) අතර ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති 11.4% 13.5% දක්වා වර්ධනය වීමට නියමිතය.

රජය මගින් පසුගිය දා එළිදැක්වූ “වසර 2025 දැක්ම” ප්‍රකාශනයට අනුව සංචාරක ව්‍යාපාරේ වර්ධනය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2025 වසර වන විට මධ්‍ය ඉහළ ආදායම් ලබන රටක් දක්වා වර්ධනය වීමට අපනයන ක්ෂේත්‍රය නගා සිටුවීම අත්‍යාවශ්‍ය කොට දක්වා ඇති අතර විදේශ විනිමය ලබාදෙන ක්ෂේත්‍ර අතර තෙවැනි තැන ඇති සංචාරක ව්‍යාපාරය තවමත් සිය හොදම හැකියාව ළගාකරගත නොහැකිව පසුවන බවද දක්වා ඇත.

සංචාරක සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති “2017–2020 උපක්‍රමික සැලසුමට අනුව සංචාරක ව්‍යාපාරයෙන් 2016 වසරේදි ලද ඇමරිකානු ඩොලර් බිලියන 3.4ක මුදල 2020 වසරේදී බිලයන 7ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. 2016 වසරේදී ලංකාවට පැමිණි මිලියන 2.05ක සංචාරකයින් ප්‍රමාණය මිලියන 4.5ක් දක්වා වර්ධනය කිරීමද රජයේ අරමුණයි.

මේ අනුව, ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන සංචාරක ව්‍යාපාරය ලංකාවේ ආර්ථිකය තුළද තීරණාත්මක ස්ථානයක් අත්පත්කරගනිමින් සිටී.

සංචාරක කර්මාන්තය එක් අතකින් ආර්ථික සමෘද්ධිය පිළිබදව සංඛ්‍යාදත්ත සපයන අතරම අනෙක් පසින් ලෝකය තුළ දිනෙන් දින වැඩිවන අසමානතාවය, ආදායම් බෙදී යාමේ විෂමතාවය, අසමමිතික සංවර්ධනය වැනි සෘණාත්මක කාරණාවන් සදහාද සංඛ්‍යාදත්ත සපයයි. ඉන් වඩාත්ම සැළකිල්ලට ගනුලබන කාරණයක් නම් මෙම කර්මාන්තය විසින් සිදුකරනු ලබන සම්පත් අධිපරිභෝජනයයි. එක් පසෙකින් ලෝකය සම්පත් හිගතාවයකින් පීඩාවිදින අතර අනෙක්පසින් අධිපාරිභෝජනය ප්‍රචාරණය කොටත් කර්මාන්තයක් කොතරම් තිරසාරද යන්න සොයාබැලිය යුතුය.

අධික ජල පරිභෝජනය

ආචාරධාර්මික සංචාරක කටයුතු වෙනුවෙන් පෙනී සිටින tourismconcern.org.uk ආයතනයට අනූව සුඛෝපභෝගි සංචාරයක නිරතවන සංචාරකයෙකු විසින් සාමාන්‍යයෙන් නිවසේ භාවිතාකරනවාට වඩා වැඩි ජලය ප්‍රමාණයක් දිනකදී පරිභෝජනය කරයි. සංචාරක ආකර්ෂණය ලත් දුප්පත් රටක දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති සංචාරක හෝටලයක 100 දෙනෙකු දින 55කදී පරිභෝජනය කරන ජල ප්‍රමාණයෙන් අදාළ ප්‍රදේශයේ පවුල් 100කට අවුරුදු 3ක ජල අවශ්‍යතාව පිරිමසා ගත හැක. සීමිත ජල සම්පතක් ඇති අප්‍රිකාවේ සහ මැදපෙරදිග දුප්පත් රටවල ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ දායකත්වය ඉහළය. මේ නිසා එම රටවල රජයයන් විසින් අදාළ සංචාරක අවශ්‍යතා වෙනුවෙන් මූලිකත්වය ලබාදේ. බොහෝ විට එසේ ලබාගනු ලබන්නේ සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනයට වෙන්කළ සීමිත සම්පත්ය.

එවැනි සිද්ධි කිහිපයක් පහත දැක්වේ.

සයිප්‍රසය.

තව් 18ක (holes) ගෝල්ෆ් පිටියක් පවත්වාගෙන යාම වෙනුවෙන් වසරකට ජලය ලීටර මිලියන 15ක් වැයවේ. ඒ උසස් තත්ත්වයේ තණකොළ වගාකොට ඒවා ඉහළ තත්ත්වයෙන් පවත්වාගෙන යාම වෙනුවෙනි. එම ජල ප්‍රමාණය පවුල් 1000 ක වසරක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රමාණවත්ය. අවම ජල සම්පත් ප්‍රමාණයක් ඇති සයිප්‍රසයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් තවත් ගෝල්ෆ් පිටි 14ක් නිර්මාණය කිරීමට සැළසුම් කොට තිබේ.

සැන්සිබාරය (නැගෙනහිර අප්‍රිකාව)

දළ වශයෙන් එක් පුද්ගලයෙකුගේ දෛනික ජල පාරිභෝජනය ලීටර් 30කි. සුඛෝපභෝගී හෝටලයක සිටින සංචාරකයෙකුගේ දෛනික ජල පරිභෝජනය ලීටර් 2000 දක්වා විය හැකිය. සමහර හෝටල් වල ජලය සපයන පයිප්ප ලයින් ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක භටයන් යොදවා ඇත්තේ අදාළ ස්වදේශිකයින් විසින් අදාළ පයිප්ප වලින් ජලය ලබාගැනීම වැළැක්වීම සදහාය.

ආහාර අධිපරිභෝජනය

සංචාරක ව්‍යාපාරයෙන් වන බලපෑම් නිරික්ෂණය කරන tourism-watch.de ට අනූව සංචාරකයෙකු විසින් නිවසේදී භාවිතා කරනවාට වඩා ආහාර ග්‍රෑම් 500ක් දිනකට පරිභෝජනය කරයි. ඒ අනූව සමස්තයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ දියුණුව විසින් සමස්ත ආහාර පාරිභෝජනය ඉහළ දමා ඇත. මෙම තත්ත්වය යම් කාලයකදි ආහාර හිගතාවයක් වර්ධනය කිරීමටද හැකියාව ඇත.

ලෝකයේ සංචාරක ප්‍රමාණය වාර්ෂිකව 4%-5% අතර ප්‍රමාණයකින් වර්ධනය වෙමින් පවතී. එය 2015 වසරේදී මිලියන 1186කි (UNTWO 2016).

මේ අනුව ගත්කළ සංචාරක ව්‍යාපාරයේ අධිපරිභෝජන රටාව ලෝකයට බලපැම් සහගත ව ඇත. ලංකාවේ අනාගත ආර්ථික උපාය මාර්ගිකව වැදගත්වන සංචාරක ව්‍යාපාරයට සමගාමීව අප විසින් අවබෝධකරගත ගැටළු ගණනාවක් ඇත.

මිලියන 20කට අධික ජනතාවක් සිටින දූපතක් වන ශ්‍රී ලංකාව ආනයන සහ විදේශ ණය මත බෙහෙවින් යැපෙන රටකි. අධික ලෙස වර්ධනය වන අධිපරිභෝජනවාදී සංචාරක ව්‍යාපාරය ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ අවම පරිභෝජනය වෙනුවෙන් කෙසේ බලපෑම් කරනු ඇතිද? මේ වන විටත් සහල්, පොල් වැනි අත්‍යවශ්‍ය ආහාර සමහර කාලපරිඡේද වලදී ආනයනය කිරීමට සිදුව ඇත. සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිහිපගුණයක් වැඩිපුර පරිභෝජනය කරන මිලියන 2ක සංචාරකයින්ගේ පරිභෝජන රටාවේ බලපෑම කවර ආකාරයකින් මෙරට පුරවැසියන්ට බලපානු ඇත්ද?

මේ සියළු කාරණා විශ්ලේෂණය සදහා නිශ්චිත දත්ත අත්‍යවශ්‍ය අතර ඒ වෙනුවෙන් පර්යේෂණ සිදුකළ යුතුය. සංචාරක කර්මාන්තය බැලු බැල්මට ලංකාවේ ආර්ථිකයට කෙතරම් ඵලදායී වුවත්, ඒ වෙනුවෙන් අප විසින් සිදුකරන වියදම කවරදක් යන්න ගණන් බැලිය හැක්කේ එවිටය.

තිරසාර සංවර්ධන ඉලක්ක සහ තිරසාර පරිභෝජනය

සංචාරක කර්මාන්තයේ ඇති අධිපරිභෝජන රටාව මෙන්ම ලෝකයේ දියුණු රටවල් විසින් පවත්වාගෙන යන අධි පාරිභෝජනය රටාවේ ඇති බලපෑම නිසාම එක්සත් ජාතීන් විසින් 2030 වසරේදි ළගා කරගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධනය ඉලක්ක තුළ තිරසාර පරිභෝජන රටාව පිළිබදවද අවධාරණය කොට ඇත. ඉලක්ක 17කින් සමන්විත මෙහි අංක 12 වෙන්කොට ඇත්තේ තිරසාර පරිභෝජනය සහ තිරසාර නිෂ්පාදනය වෙනුවෙනි.

තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබදව ඉදිරියේදී සාකච්ඡා කරමු.

Comments