ලංකාවේ සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් ඓතිහාසිකව සහ ස්වභාවිකව අපහට උරුම වූ දෑ හැරුනකොට පසුගිය දශක කිහිපය තුල පරිපාලකයින්, දේශපාලකයින්, ආණ්ඩු විසින් සිදුකොට ඇත්තේ ඉතා අල්ප වූ දායකත්වයක් පමණි. එසේ සිදුකරන ලද දායකත්වයන්ද පුද්ගල වාසි, වංචා දූෂණ අරමුණු කොට සිදුවූ දෑ මිසෙක දිගුකාලීනව කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වූ දායකත්වයන් අල්පමාත්‍රිකය.
ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ අපැහැදිලිතා, අපහසුකම්, වංචා හෝ දූෂණ පිළිබදව අදහසක් නොමැති වුවත්, 2012 වසරේ සිට ක්‍රියාත්මක, ශ්‍රී ලංකාවේ සංචාරය කරන සංචාරකයින් වෙනුවෙන් සකස්කරන ලද මාර්ගගතව වීසා ලබාගත හැකි ETA (Electronic Travel Authorization) ක්‍රමය අතිශයින්ම සාර්ථක මෙන්ම, ලංකාවට සංචාරකයින් ආකර්ශනය කරගත හැකි දෙයක් බවට පරිවර්තනය වී තිබුණි. ඊට හේතු ගණනාවක් පවතී.
1. පහසුවෙන් වීසා ලබා ගත හැකිවීම.
සාමාන්‍යයෙන් මෙවැනි දෑ සදහා අතිශය සංකීර්ණ ක්‍රම භාවිතා කරන ලංකාවේ, පොදු අත්දැකීම වෙනස් කරමින් ඉතා සරල ලෙස වීසා අයදුම් කිරීමේ හැකියාවක් පැවතුණි
2. පැය 24කට පෙර වීසා බලපත්‍රය ලැබීම
රටවල් කිහිපයක් හැර (අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සහ සහ පකිස්ථානය වැනි රටවල් ) අනෙක් ඔ්නෑම රටක පුද්ගලයෙකුට පැය 24ක් යාමට මත්තෙන් (සාමාන්‍ය අත්දැකීම විනාඩි කිහිපයක් හෝ පැයකට අඩුය) වීසා ලබාගැනිමේ හැකියාව පැවතුණි.
3. ගුවන්තොටුපොළෙන් ලබාගත හැකි වීසා
ඉහත දැක්වූ රටවල් හැර, අනෙකුත් රටවල සංචාරකියින් හට ( ලංකාවට සංචාරය සදහා පැමිණෙන සියළුම ප්‍රධාන රටවල් මේ සදහා ඇතුලත්ය) ගුවන් යානයෙන් පැමිණ, ගුවන්තොටුපලේදී වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාව
4. පැය 24 පුුුරා ක්‍රියාත්මක දුරකතන අංකය
මෙම සේවාව සාපෙක්ෂව වඩාත් ඵලදායී කාර්යබාරයක් ඉටුකළේය. එමගින් ආගමන විගමන ගැටළු සදහා පිළිතුරු ලබාදීම සිදු නොකළත්, මාර්ගගත ක්‍රමය භාවිතයට අදාළ බොහෝ ගැටළු සදහා සාර්ථකව පිළිතුරු ලබාදීමේ හැකියාව තිබුණි.
මෙම තත්ත්වය මත ඔ්නෑම රටකට සංචාරය කිරීමේදී මුලින්ම ඇතිවන ප්‍රධානතම ගැටළුව වන වීසා ලබාගැනීම සම්බන්ධයෙන් ඇති පහසුව නිසා සංචාරකයින් සිය ගමනාන්තය තෝරාගැනීමේදී ලංකාව තෝරාගැනීමට සැළකිය යුතු හේතුවක් බවට ETA පත්විය. ජාත්‍යන්තර විදෙස් සමුළු සදහා සගභාගීත්වය ලොව පුරා රටවලින් සිදුවන්නේ නම්, සිය සමාජිකයින්ට වීසා ලබාගැනීමේ පහසුුව අදාළ සංවිධායකයින්ගේ ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත්වෙයි.
විශේෂ අවස්ථා සදහා ක්‍රමවේදය වෙනස්කර ගැනීමේ හැකියාවද ETA මගින් පෙන්වා දි තිබුණි. ඒ සදහා හොදම උදාහරණය කොවඩ් කාලය සහ ඊට ආසන්න පසු කාලය තුලදී සංචාරය කිරීම සදහා ක්‍රමවේදයන් සැකසීමේදී මෙම ක්‍රමය යොදා ගැනීමේ නැමියාවයි. කවර දුර්වලතා පැවතුනද සාපෙක්ෂව කාර්යක්ෂම සේවයක් සැපයූ සංචාරක අධිකාරියේ ක්‍රමවේදයන් පහසු කරගැනීම සදහා ETA මහගු දායක්තවයක් දැක්වීය.
ආසන්න කාලයේ වුවද, යම් යම් වෙනස්කම් සිදුකිරීම මගින් අවශ්‍ය ලෙස තොරතරු ලබාගැනීමට ETA ක්‍රමය භාවිතා වන ආකාරය දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස කවර සංචාරක කොටසට අයත් සංචාරකයෙක් දැයි තෝරාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට දැනට මාස කිහිපයකට පෙර නව ප්‍රශ්ණ කිහිපයක් ඇතුලත් කොට තිබුණි.
සරල ක්‍රමවේදයත්, සංකීරණ නොවූ වෙබ් අඩවියත් නිසා ETA වෙනුවෙන් සාමාන්‍ය වියදම් වලට වඩා වෙනස් වියදමක් දරන්න සිදුවන්නේ නැත.
ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු, මග තොටේදී ඔවුනට සිදුවන හිංසාවන් පීඩාවන්, සංචාරක සේවාවන් වල නියාමනයන්ට අදාළ ගැටළු, සංචාරක වීසා වලින් පැමිණ ව්‍යාපාරය සහ වෙනත් අයුතු කාර්යයන්වල නිරතවන තත්ත්ව, රටක් ලෙස නිවරැදි ලෙස සන්නාමකරණය වැනි සංචාරක ක්ෂේත්‍රයට අදාළ දහසක් ප්‍රශ්ණ පවතින විටෙක, රජය විසින් පසුගිය දා නිවේදනය කළේ සංචාරක වීසා ලබාගැනීම සදහා පැවති ETA ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමවේදයක් හදුන්වා දෙන බවයි.
ලංකාවේ මෙවැනි නව ක්‍රමවේදයන් හදුන්වාදීමේදී ඇති පූර්ව අත්දැකීම් නිසා සහ මෙම ක්‍රමවේදය හදුන්වාදීමේදී අනුගමනය කර ඇති සමහර ක්‍රමවේද නිසා මෙකී අලුත් ක්‍රමය ගැන සැකසංකාවක් උපදී. කෙසේ වුවද කරුනු හරිහැටි සන්නිවේදනය නොවීම නිසා මෙම ගැටලු පැනනැගීමට හේතුවක් විය හැකි නිසා මෙකී ගැටළු අදාළ වගකිවයුත්තන් යොමුකොට වඩා පැහැදිලි කරුනු දැක්වීමක් සිදුකරන්නේ නම් වඩාත් යෝග්‍යවන්නේය.
දැනට පැනනැගී ඇති ප්‍රධානතම ගැටළුව වීසා ගාස්තුවේ අසාමාන්‍ය ඉහළ යාමයි. මීට පෙර ඩොලර් 50ක්ව පැවති සාක් නොවන සංචාරකයෙකුගේ දින 30ක වීසා පිරිවැය නව ක්‍රමවේදය මත ඩොලර් 75ක් බවට පත්ව ඇත. ඒ දින 60ක් සදහාය. ලංකාවට පැමිණෙන සාමාන්‍ය සංචාරකයෙකු දින 60ක් තබා දින 30ක්වත් ලංකාවේ සංචාරය කරන්නේ බොහෝ කලාතුරකින්ය. ඒ් නිසා දින ගණන වැඩිකර මුදල වැඩි කිරීම කිසිලෙසකින් වත් සාමාන්‍ය සංචාරකයින්ට හිතකාමී නොවනු ඇත.
මේ ලෙසටම සාක් රටකින් පැමිණෙන සංචාරක ගාස්තුව ඩොලර් 20 සිට 35 දක්වා වැඩි කර ඇත. අප දන්නා පරිදි පසුගිය මාස කිහිපය තුළ සමහර සාක්රටවල් සහ සාක් නොවන රටවල් කිහිපයක්ම වීසා ගාස්තු රහිත කර තිබුණේ ලංකාවේ සංචාරක පැමිණීම වැඩි කරගැනිම සදහායි. වඩාත් සංචාරකයින් පැමිණෙන ජනවාරි - අප්‍රේල් මාසවල සංචාරක වීසා ගාස්තු අය නොකොට, සංචාරකයින් අඩුවෙන් පැමිණෙන මැයි මාසයේ සිට සංචාරක ගාස්තු 50%ක් වැඩි කිරීම කිසිලෙසකින්වත් සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට බලපාවි යැයි සිතිය නොහැක.
මෙහි ඇති දෙවන ගැටළුව, සාක් සහ සාක් නොවන සංචාරකයින්ගෙන් වීසා ගාස්තුව අමතරව ඩොලර් 18.5ක සේවා ගාස්තුවක් අය කිරීමයි. මෙම මුදල බොහෝ විට අයත් වනුයේ මෙම අලුත් සේවාව ලබාගැනීම වෙනුවෙන් VFS ආයතනය වෙතය. (මෙය නිශ්චිත සන්නිවේදනය වී නොමැත). ඒ අනූව වසරකට අඩුම තරමින් මිලියන 2ක සංචාරකයින් පිරිසක් පැමිණෙතැයි විශ්වාස කළහොත් එම මුදල වසරකට ඩොලර් මිලියන 37කි. පවතින හුවමාරු අගය තුළ රුපියල් බිලියන 11කට වඩා වැඩි මුදලකි. මුලින්ම මෙම සේවා ගාස්තුව පිළිබදව රජය විසින් පැහැදිලි කළ යුතුය. කෙසේ වුවද එය VFS ආයතනය වෙත ලැබෙන බව උපක්ලපනය කළහොත් ඒ කවරක් සදහා දැයි අප විසින් විමසා බැලිය යුතුය.
VFS යනු රටවල වීසා බලපත්‍ර හැසිරවීම සදහා රාජ්‍යයන් විසින් බාහිරව වා ලබාදෙන ආයතනයක් බව අපි දනිමු. එය ඉතා දැඩි ඉල්ලුමක් ඇති, සංකීර්ණ ලියැකියවිලි වලින් සමන්විත වීසා බලපත්‍ර නිකුත් කරන රටවල් තම රාජ්‍ය සේවයට පහසුවක් ලෙස බාහිරව සේවා ලබාගන්නා ප්‍රසිද්ධ ආයතනයකි. මා දන්නා තරමින් ලංකාවේ ජනතාව අතර ඉතා දැඩි ඉල්ලුමක් ඇති මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වීසා අයදුම්පත් හැසිරවන්නේ VFS මගිනි.
මිට අමතරව පහසුකිරීමේ ගාස්තුවක් ලෙස ඩොලර් 7.27ක් සාක් නොවන අයවලුන් සදහාත්, ඩොලර් 5.05ක මුදලක් සාක් රටවල සංචාරක අයදුම් පත්‍රයක් සදහාත් අය කරනු ලබයි. මෙම මුදල බොහෝ විට අයත් වනුයේ අදාළ මුදල් ගෙවීමට භාවිතා කරන කාඩ්පත්වල මුදල් සහ අදාල මාර්ගගත සේවාව සදහාය. (Online payment gateway) ඒ අනුව පූර්ණ විසා ගාස්තුව ලෙස සාක් නොවන අයෙක් ඩොලර් 100.77 ( 100%ක වැඩිවීමක්) සහ සාක් රටවල් අයෙක් ඩොලර් 58.55 ( 192% ආසන්න වැඩිවීමක්) ගෙවීමට නියමිතය.
මා මීට පෙර සදහන් කර ඇති පරිදි, ඉතා සරල ක්‍රමරමවේදයකින් හැසිරවෙන ලංකාවේ සංචාරක වීසා අයැදුම්පත් සදහා VFS වැනි සමාගමක උදව් අවශ්‍ය වන්නෙ ඇයි? මීට පෙර සංචාරක වීසා නිකුත් කළ ETA මගින් ලංකාවට පැමිණීමේදී සංචාරකයින් අපහසුතාවයට පත්වූවාද? ඊට සෘජු පිළිතුර නැත යන්නයි. එහෙත් නව ක්‍රමවේදය තුලින් හදුන්වාදී ඇති විවිධාකාරයේ වීසාවර්ග (දවස් 60, අවුරුද්ද වැනි) සදහා අයැදුම් කිරීමටද ETA දියුණු කිරීමේ හැකියාවක් තිබුණි. ETA ගොඩනැගීම සදහා ICTA ආයතනයේ අනුදැනුම ලද බවටද සදහන් වන නිසා, පැවතුණ ක්‍රමවේදය තවත් දියුණු කරගැනීමටද එම ආයතනයේ සහයෝගය ලබාගැනීමට හෝ අඩු වියදම් ක්‍රමවේදයකට යාමට ඔ්නෑතරම් අවස්ථා තිබේ.
ආගමන විගමන පාලකවරයා මාධ්‍යයට පවසා සිටි පරිදි VFS සමාගම ලංකාවේ වීසා හැසිරවිම නිසා ලංකාවේ කීර්තිනාමයට හෝ වෙනත් කවර හෝ ආකාරයක ප්‍රචාරණයක් ලැබෙනවා යන්න එතරම් පැහැදිලි කාරණයක් නොවේ. කිසියම් පුද්ගලයෙක් වීසා බලපත්‍ර හසුරුවන සමාගම මත එම රටේ සංචාරය කිරීම තෝරාගනීවි යැයි සිතීම විහිළුවට කාරණයකි. එකම දේ, ලංකාවේ වීසා සම්බන්ධ විශ්වාසවන්තභාවයට කිසියම් ආකාරයක පිළිගැනීමක් ලැබීමයි. ඒ ආකාරයෙන් පිළිගැනීමක් ලැබීමේ කිසියම්ම වූ වාසියක් මටනම් පෙනෙන්නේ නැත. මතක තබාගත යුතු කාරණය සිංගපූරුව යනු රටට ඇතුල්වීමේදී දින 30ක වීසා දෙන රටක් විමයි.
අනු කාරණයක් වුවත්, මෙයද සදහන් කිරීම වටිනවා යැයි සිතමි. වෙනත් රටක සිට ලංකාවේ වීසා අයැදුම් කිරීමට සිදුකරන ගූගුල් සොයාබැලීමකදී වංචා සහගත හෝ බොරු වෙබ් අඩවි ගණනාවක් ගූගුල් දැන්වීම් ලෙස පෙනී සිටී. එය මගහැරගැනීම සදහා සංචාරකයින් දැනුවත්කිරීමට කළයුතු වැදගත් කාරණය ලංකාවේ වීසා අයදුම්පත් කළහැකි වෙබ් අඩවිය රජයට අයත් වුවක් ලෙස දැන්වීමයි. ( eta.gov.lk) gov යන යෙදුම පුද්ගලික ආයතන සදහා යොදාගත නොහැකිය. නමුත් නව වෙනස සමග එම වෙබ් අඩවියේ ලිපිනය ඔ්නෑම කෙනෙකුට මිලදී ගත හැකි ආකාරයේ වෙබ් ලිපිනයකින් යුතු නිසා ( www.srilankaevisa.lk) පෙර කී බොරු වෙබ් අඩවි සදහා අලුත් ඉඩකඩක් ලැබීමේ හැකියාවක් මතුවේ.
ඒ අනුව, පහත සදහන් කරුණු සදහා ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ පැහැදිලි කිරීම වැදගත්ය.
පැරණි ETA වෙබ් අඩවිය පවත්වාගෙන යාම සදහා සිදුකළ වියදම
අලුත් VFS ආයතන වෙබ් අඩවිය වෙනුවෙන සිදුකල වියදම සහ සේවා ගාස්තු කා වෙනුවෙන්ද?
පැරණි ක්‍රමයෙන්, අලුත් ක්‍රමයට පිවිසීමට අවශ්‍ය වූයේ ඇයි?
ඒ් සදහා සංචාරක ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලින් අදහස් විමසුවාද?
අලුත් ක්‍රමවේදයේ උපක්‍රමික ඉදිරි දැක්ම කුමක්ද?
මීට අමතරව, අලුත් වෙබ් අඩවිය භාවිතයේදී පවතින තාක්ෂණික දෝෂ ගණනාවක් දක්නට ලැබුණත්, ඒවා පෙන්වා දෙනවාට වඩා මෙම ක්‍රියාවේ මූලික තීරණ සම්බන්ධයෙන් වන පැහැදිලි කරගැනීම රටක අර්බුද සමයක ක්‍රියාත්මක තීරණාත්මක කර්මාන්තයක දියුණුවට බෙහෙවින් වැදගත්ය. සංචාරක කර්මාන්තයෙන් ඉපයෙන සෑම ඩොලරයකට වැදගත්කම එම කර්මාන්තයේ යෙදී සිටින වූවන්ට පමණක් නොව රටටම වැදගත් බව අපි දැනටමත් හොදින් අත්දැකීම් ලබා සිටිමු.
Comments
Post a Comment